Monday 6th of December 2021

English Tamil
Advertiesment


 නීති ගරුක මහ ජන කැරැල්ලක්..!


2021-10-09 5952

 
(වික්ටර් අයිවන්)

 

ශ්‍රී ලංකාවේ අර්බුදය ශ්‍රී ලංකාව රැගෙන යමින් තිබෙන්නේ කොතැනටද..? වසංගත තත්ත්වය පහව ගියද රට වෙලා ගෙන තිබෙන සමාජ-දේශපාලන සහ ආර්ථික අරබුදයෙන් ගැලවීමට අවශ්‍ය ප්‍රායෝගික දැක්මක් නොමැති වීමේ බරපතළ ප්‍රශ්නයක් රට ඉදිරියේ තිබෙන බව පැහැදිලිව පෙනේ. එම තත්ත්වය හේතුවෙන් සමාජ-දේශපාලන සහ ආර්ථිකයේ ඇති වී තිබෙන බිද වැටීම උපරිම තත්ත්වයකට පත්වී රට අසමත්, බංකොලොත් සහ අරාජක පත්වීමේ ඇත්ත අවදානමක් පවතී.

ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන මේ අර්බුදය ශ්‍රී ලංකාවේ පාලකයින් දිගින් දිගට නිවරදි කිරීමකින් තොරව පවත්වා ගෙන ගිය හිංසාකාරි,කොල්ලකාරි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී මුග්ධ ප්‍රතිපත්ති නිසා ඇතිවී තිබෙන සුවිශේෂ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. මෙවැනි තත්ත්වයකට රටක් පපත් වන්නේ ඉතාමත් කලාතුරකිනි. එවැනි තත්ත්වයකට රටක් පත් විය හැක්කේ එක දිගට දීර්ඝ කාලයක් මුග්ධ භාවය රජ කළ  රටක පමණය. රටේ ඇතිවී තිබෙන මහා විනාශයට වග කිවයුතු දේශපාලකයන් අතර තවමත් පසු තැවිල්ලක් පවා ඇතිවී තිබෙන බව පෙනෙන්නේ නැත.

මේ රට මෙතෙක් පාලනය කළ දේශපාලකයින් සමග මේ ලියුම්කරුට පුද්ගලීක කෝන්තරයක් නැතත් ශ්‍රී ලංකාව මේ වන විට තිබෙන අවසනාවන්ත සහ කාලකන්ණි තත්ත්වයට ඇද දැමීමට අදාළ වග කිව යුත්ත්න්ට එම තත්තවයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමේ හැකියාවක් තිබෙනු ඇතැයි මම විශ්වාස නොකරමි. මා හිතන්නේ මෙම ඓතිහාසික මොහොතේ එම අයිතිය තිබෙන්නේ රටේ පුර වැසියන්ට හෙවත් මහා ජනයාට කියාය. මෙම ලිපියේ අරමුණ වනුයේද මහ ජනයා තෝරා පත් කර ගත් ආණ්ඩුවක් බලයේ සිටියදී වුවද එම ආණ්ඩුවට ශ්‍රී ලංකාව ගලවා ගැනීම සදහා කළ හැකි ඵලදායි කාර්‍යභාරයක් නොමැති නම් එම අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සදහා ක්‍රියාකාරී මැදිහත් වීමක් සිදු කිරීමට රටේ පුරවැසියන්ට නීතියට, ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර නීතියට අනුකූල බලයක් හෝ හිමි කමක් තිබේද යන්න සලකා බැලීමය.

                                                       සමූහාණ්ඩු වාදය

 

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම සකස් කර තිබෙන්නේම සමුහාණ්ඩු හෝ ජන රජ සංකල්පය පදනම් කර ගෙනය. එහිදී රාජ්‍යයේ පරමාධිපත්‍යය බලය ලබා දී තිබෙන්නේ ජනතාවටය. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමයට කළ  හැකි විවේචන තීබියදී 1978 ව්‍යවස්ථාව ගොඩනගා තිබෙන්නේ සමූහාණ්ඩු හෝ ජන රජ සංකල්ප පදනම් කර ගෙනය. එම ව්‍යවස්ථාව දෙවැනි ජන රජ ව්‍යවස්ථාව ලෙස හදුවන්නේද ඒ නිසාය .

ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය අනුව "ශ්‍රී ලාංකා ජන රජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යය අත් හළ නොහැක්කේය. පරමාධිපතත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ජන්ද බලයද ඇතුළත් වන්නේය." එම විෂයේදී 4 වැනි වගන්තියෙන් කිය වෙන කරුණ ද ඉතා වැදගත්‍ ය. (අ) උප වගන්තිය අනුව "ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන් විත පාර්ලිමේන්තුව විසින්ද ජන මත විචාරණයකදී ජනතාව විසින්ද" (ආ) උප වගන්තිය අනුව "රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවග්ගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරනු ලබන ජන රජයේ ජනාධිපතිවරයා විසින්ද" ( ඇ) උප වගන්තිය අනුව "ජනතාවගේ අධිකරණ බලය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටු වන ලද හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිළි ගන්නා ලද නැත හොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටූ වන ලද අධිකරණ, විනිශ්චය අධිකාරි සහ ආයතන මගින් පාරිලිමේන්තුව විසින්" ද ක්‍රියාත්මක කළ යුත්තේය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට ලැබී තිබෙනුයේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලයයි. ජනාධිපතිට ලැබී  තිබෙනුයේද ජනතාවගේ විධායක බලයයි. අධිකරණයට ලැබී තිබෙනුයේද ජනතාවගෙ අධිකරණ බලයයි. ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍යය බලය අහිමි කළ නොහැකිය. එහෙත් ජනාධිපතිට ලැබී තිබෙන විධායක බලය, පාරිමේන්තුවට ලැබී තිබෙන ව්‍යවස්ථාදායක බලය හෝ අධිකරණයට ලැබී තිබෙන අධිකරණ බලය ඒවාට අහිමි කළ නොහැකි බලයන් ලෙස ව්‍යවස්ථාවේ සදහන් වන්නේ නැත .

මේ වන විට මහ ජනයාගේ ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලය දරන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍යයේ ප්‍රධාන බල මණ්ඩල තුනම තිබෙනුයේ සමාජ ක්‍රමය සහ ආර්ථිකය සේම උපරිම තත්ත්වයකට ගරා හැලුණු, ජරාජීර්න වී බිද වැටෙමින් තිබෙන තත්ත්වයකය. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ අර්බුදයට ආවේණික විශේෂ ලක්ෂණයක් ලෙසද සැලකිය හැකිය. මෙම ආයතන තුන (විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය) ශ්‍රී ලංකාවේ මේ අර්බුදයට වැඩියෙන්ම වග කිව යුතු ආයතන තුන ලෙස ද සැලකිය හැකිය. ඒවා දැන හෝ නොදැන රගපා තිබෙනුයේ මුග්ද සහ
වග කීමෙන් තොර භූමිකාවකකි. ඒ නිසාම මේ අරබුදයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ හැකියාවක්ද  එම ආයතන තුනට තිබිය නොහැකිය. ඒ නිසා ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ කතෘ කාරකයා විය යුත්තේ පරමාධිපත්‍යයෙ නියම හිමිකරුවන් වන ජනතාවය. ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවත් එම හිමිකම තිබෙන්නේ ජනතාවටය.

                                         

ජාත්‍යන්තර නීතිය සහ සම්ප්‍රදායන් අනුව

 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අතිරේකව ජාත්‍යන්තර නීතිය සහ සම්ප්‍රදායන් අනුව මෙවැනි අර්බුදයකදී මහ ජනයාට ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමකට හිමිකමක් තිබේද කියා සලකා බැලීම ඉතා වැදගත්‍ය. අලුත් ආණ්ඩු ක්‍රමයක් හදා ගත යුතු තරමට රටක ආණ්ඩු ක්‍රමයක් අර්බුදයට ගිය අවස්ථාවක දී ඊට ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමේ හිමිකමක් මහ ජනයාට ඇති බව ජාත්‍යන්තර නීතිය පිළි ගනී. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට සහභාගි වීමේ නිෂ්චිත හිමිකමක් මහ ජනයාට තිබෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව කැනඩාවට එරෙහිව මික්මැක් ගෝත්‍රය වෙනුවෙන් මාර්ෂල් ඉදිර්පත් කළ පැමිණිල්ල පදනම් කොට ගෙන 1991 දී ලබා දී තිබෙන තීන්දුවේ සදහන් වේ. ( Human Rights Committee ccpr/ c/43/ D 205/ 1986,3 December 1991) 

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජත්‍යන්තර ප්‍රක්ඤප්තියේ 25 වැනි ව්‍යවස්ථාව පිළිබඳව දෙවන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවේ පාඨමය බල අධිකාරිය (Textual Authority) 1996 ජූලි මස 12 වන දින කර තිබෙන අර්ථ කථනය අනුවද ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයට ක්‍රියාකාරි ලෙස සම්බන්ධ වීමේ අයිතිය මහ ජනයාට හිමිය. වගන්ති 27 කින් යුතු එම අර්ථ කථනයේ 2 වැනි වගන්තිය වෙන් කර ඇත්තේ මහ ජනයාට ව්‍යවස්ථා සම්පාදනයකට තිබෙන හිමිකම අර්ථ කථනය කිරීම සදහාය. එහි මෙසේ සදහන් වේ. "පුරවැසියෝ සිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි අදහස් කරන අවස්ථාවන්හී ද පොදු කට යුතු මෙහෙය වීමේ කාර්‍යයට ඍජුව සනභාගි වෙති."

කැනේඩියානු ආණ්ඩුව ක්විබෙක් අර්බුදය (එම ප්‍රාන්තය වෙන්ව යාමට උත්සහා දැරීමේ ප්‍රශ්නය) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු  කිරීමෙන් පසු එම අධිකරණය 1998 දී ලබාදී තිබෙන තීරණයන් ආණ්ඩු ක්‍රමයක් ගොඩනැගීමේදී සහ පවත්වා ගෙන යාමේ දී මහ ජනයාට තිබෙන අහිමි කළ නොහැකි සහභාගිත්ව අයිතින් සහ රාජ්‍යයේ වගකීම් පැහැදිලි කරන කදිම නෛතික ලියවිල්ලක් ලෙස සැලකිය හැකිය. ඊට අනුව "ප්‍රජාතන්ත්‍රවාදය" කැනේඩියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මූල ධර්ම අතර තිබෙන ප්‍රධානම මූල ධර්මය වේ. එම මූල ධර්මය සදහා නොකඩවා පවත්වා ගෙන යන සාකච්ඡා ක්‍රියා දාමයක් තිබිය යුතුය. කිසිවකුට හෝ සත්‍ය පිළිබඳ ඒකාධිකාරයක් තිබිය නොහැකිය. ඒකියත්වය අනතුරේ තිබෙන අවස්ථාවක දී පවා එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවිය යුතු බව ප්‍රකාශ කරමින් කැනේඩියානු ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඊට මුල පිරීමේ අයතිය ක්විබෙක් ප්‍රාන්ත ආණ්ඩුවට හිමි කර දුන්නේය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේදී ද පාර්ලිමේන්තුවට මුල් තැනදී කෙරෙන පරණ ව්‍යවස්ථා සම්පාදන ක්‍රමය වෙනුවට මහ ජන සහභාගිත්ව ව්‍යූහයන් සහ  ආකෘතීන් ඇතුළත් නව ව්‍යවස්ථා සම්පාදන අත් හදා බැලීම් සැලකිය යුතු ගණනක් පසු ගිය අවුරුදු 40 තරම් කාලයේ දී ලොකයේ සිදු වී තිබේ. කැනඩාව (1982 ), නිකරගුවාව (1986 ), උගන්ඩාව සහ බ්‍රසීලය (1988 ), දකුණු අප්‍රිකාව (1994 ) එරිත්‍රියාව සහ වෙනිසූලියාව (1997) රුවන්ඩාව (2003), බල්ගේරියාව සහ රුමේනියාව (2006), ඊජිප්තුව (2014), නේපාලය (2015 ) සහ තායිලන්තය ((2016 ) ඒ සදහා දැක්විය හැකි නිදසුන්ය.

මෙම අත් හදා බැලීම් ව්‍යවස්ථා සම්පාදන සංස්කෘතියේ ගැඹුරු විපර්යාසයක් ඇති කිරීමට හේතු වී තිබෙන්නේ යයි කිව හැකිය. මෙම විෂයෙහි ප්‍රධාන න්‍යායවාදිනියක ලෙස සෑලකිය හැකි මහාචාර්‍ය වීවියන් හාර්ට් කියා තිබෙන්නේ "විසි එක් වන සිය වසේ ව්‍යවස්ථාකරණය විශේෂඥ ආණ්ඩූක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ දිගු කාලීන සම්ප්‍රදාය ප්‍රති-අර්ථ කථනය කරමින් එම ක්‍රියාවලිය ප්‍රාජාතන්ත්‍රවාදි සහභාගි අදියරයක් කරා" ගෙන යමින් තිබෙන බවය .එසේම එම ක්‍රමය මහ ජනයාට තිබෙන පරමාධිපත්‍ය බලයට නව ප්‍රායෝගික වටිනාකමක් ලබා දෙමින් ජාතිය සහ රාජ්‍යය ගොඩනැගීම මහ ජනයා සිය පරමධිපත්‍ය බලය  යොදා ගෙන කරන මහ ජනයාගේ කාර්යක් බවට පත් කිරීමට හේතුවී තිබේ.

               

මහ ජන බලය ගැන
 

ශ්‍රී ලංකාවෙ ඇතිවී තිබෙන කඩා බිද වැටීම ඉදිරියේ ජාතිය සහ රාජ්‍යය ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණ සදහා ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමට මහ ජනයාට හිමිකමක් තිබේද යන්න සලකා බැලීම මේ ලිපියේ ප්‍රධාන අරමුණ විය. එහිදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් පවත්වා ගෙන ගිය බොහෝ රටවල් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අංග එකතු කර තිබේ. ආණ්ඩු ක්‍රමයට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අංග එක්තු කර ගෙන තිබෙන රටවල් ගනන 40 කට ආසන්නය.ඒ රටවල ජනයාට පරමාදිපත්‍ය බලයේදී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් ක්‍රියාත්මක රටවල ජනයාට ලැබී තිබෙන බලයට වඩා අති විශාල බලයක් බුක්ති විදී. ලිපිය අනවශ්‍ය තරමට දීර්ඝ වීම වලකා ගැනීම සදහා මා ඒ ගැන කතා කරන්නේ නැත. මහ ජනයාට සිය ඡන්දයෙන් පත් කරන නියෝජිතයන් අභිභවා ගිය බලයක් මහ ජනයාට ලබා දෙන ක්‍රමයක් 21 වන සිය වසේදී ආණඩු ක්‍රම විෂයේදී ගෝලිය වශයෙන් හමා යමින් තිබෙන ප්‍රවනතාව ද මාගේ තර්කය සනාථ කරන ඉතා බලවත් සාක්ෂියක් බවද කිව යුතුය.

මෙතෙක් සිදු කෙරුණු කරුණු සලකා බැලීම් අනුව ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සදහා ක්‍රියාකාරි ලෙස මැදිහත් වීමේ, ඒ සදහා නැගී සිටීමේ සහ නායක කාර්‍යභාරයක් ඉටු කිරීමේ හිමිකම ව්‍යවස්ථාව අනුවත්, ජත්‍යන්තර නීතිය අනුවත්, ජාත්‍යන්තර ව්‍යවස්ථා සම්ප්‍රදායන් අනුවත්, මහ ජනයාට හිමි බව කිව හැකිය.

එහිදී විසදා ගත යුතුව තිබෙන ලොකුම අභියෝගය වනුයේ එම හිමිකම සහ ඊට අදාළ බලය ප්‍රායෝගික අර්ථයෙන් මහ ජනයා යොද ගන්නේ කෙසේද යන්නයි. එම කාර්ය කළ හැකි වනු ඇත්තේ මහ ජනයා ඒ අරමුණ වෙනුවෙන් කැරලි ගසන තැනකට යාමෙනි. එම කැරැල්ල රෝහණ විජේවීර හෝ වේළුපිල්ලේ ප්‍රභාකරන් හදුන්වා දෙන ලද පන්නයේ මිනිසුන් සහ දේපල විනාශ කරන කුරිරු කැරැල්ලක් නොව මෛත්‍රීය සහ කරුණාව ද, ප්‍රජාතන්ත්‍රවාදය සහ අහිංසාවාදය ද, මත පදනම් වු සමාජයේ රජ කරන දීන හැගීම් තුරන් කොට නිර්භීතකම ඇති කරන, භේද භින්න වී තිබෙන සමාජය සමගි කොට විනය ගරුක, ගුණ ගරුක, විචාර ශීලී සහ බහුත්වවාදි සමාජයක් ඇති කිරීමට හේතුවන කැරැළ්ලක් විය යුතුය.

Advertiesment