Tuesday 7th of December 2021

English Tamil
Advertiesment


මගේ නෑදෑ පරපුර රටේ ජනතාවයි


2021-10-18 5915

 

(හේමන්ත තුසිත කුමාර)

 

වත්මන් ආණ්ඩුව රට පත්කොට ඇති තත්ත්වය දුටුවිට කියන්නට ඇත්තේ, "හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්" ලෙසට යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉරිදා (17) තිස්සමහාරාමයේ සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ය.

එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

මේ ආණ්ඩුව මුලු රටම මහා ප්‍රපාතයකට තල්ලු කරලා. පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවක් පුරවා මුදල් ගෙනියන්නට සිදුවන තත්ත්වයක් ඉතා ඉක්මනින්ම රටේ උද්ගත වේවි. දිනෙන් දින රට ආර්ථික වශයෙන් බංකොලොත් අඩියකට වැටෙනවා.

ඉදිරියේදී මුදල් අච්චු ගසන මුද්‍රණාල ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළොත් එය පුදුමයක් නොවෙයි.ඒ තරමටම ආණ්ඩුව අසමත්.ගොවි ජනතාව ගොවිබිමෙන් ඈත් කරලා එම පුරන් ඉඩම් දේශීය විදේශීය බහුජාතික සමාගම්වලට ආණ්ඩුව ලබා දෙයි. ඉන් අනතුරුව දේශීය ගොවියාට යලි හිස එසවිය නොහැකි වේවි.

ගොවියාගේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට තීන්දු කළා. කිසිවෙක් එවැන්නක් සිදු කරලා නෑ. සමගි ජනබලවේගය ප්‍රායෝගික සහ සත්‍යවාදී දේශපාලන බලවේගයක්.

රටට පොලී සහ ණය වාරික ගෙවන්නට සිදුව ඇතත්,එවැන්නකට අවශ්‍ය විදෙස් සංචිත රටට නැහැ. මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් මීට පෙර අසන්නට ලැබී නැහැ.මට සුරකින්නට නෑදෑ පරපුරක් නැහැ. මගේ නෑදෑ පරපුර මේ රටේ සමස්ත ජනතාවයි. මගේ දරු පරපුර වන්නේ මේ රටේ සමස්ත දරු පරපුරයි. ඔවුන්ට කිරුළ පැළැන්දීම මගේ සිහිනයයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප්  වෙදආරච්චි ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  තෙන්නකෝන් නිලමේ, තිස්සමහාරාම සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

Advertiesment