Friday 24th of April 2026

English Tamil
Advertiesment


බාල ගල් අඟුරුවල සම්පූර්ණ පිරිවැය නිවැරදිව ගණන් බැලිය යුත්තේ මෙහෙමයි - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා


2026-02-26 14896

 

විපක්ෂ නායකවරයා පෙන්වා දුන් කරුණු 100%ක් නිවැරදියි

 

නමුත් මෙමගින් නිර්මාණය වන ආවස්ථික පිරිවැය හෙවත් වක්‍ර පිරිවැයත් ඇතුලත් කළ විට සම්පූර්ණ හානිය මීට වැඩිය කිහිප ගුණයකින් විශාල වෙනවා

 

ඔය කමිටුවට ඔබතුමාගේ ආර්ථික විද්‍යාඥයෝ දෙන්නෙක් හරි දාන්න

 

- පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා එකින් එක පැහැදිලි කරයි -

 

බදාදා (25) පැවති සජබ මාධ්‍ය හමුවකට එක්වෙමින් පේරාදේනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා විසින් පවතින ආර්ථික තත්ත්වය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කරනු ලැබූ අතර එහිදී මාධ්‍යවේදීන් විසින් ඉදිරිපත් කළ බාල ගල් අඟුරු පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කළේ මෙහි පිරිවැය රජයේ වාර්තාවලින් පෙන්වා දෙන ප්‍රමාණයට වඩා ඉතා විශාල විය හැකි බවයි. ඒ පිළිබඳව සිදුකළ සම්පූර්ණ අදහස් දැක්වීම පහත පරිදි වේ.

"දැන් අපිට මූල්‍ය පාඩුවක් ඇස්තමේන්තුවෙලා තියෙනවා රුපියල් බිලියන 8ක පමණ. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට වාර්තා කරලා තියන අන්දමට පළමු නැව, දෙවනැව විදිහට නැව් අටේම අලාභය එකතු කරලා ගත්තාම රුපියල් බිලියන 8ක වගේ අගයක් එනවා.

එතකොට මේ පිළිබඳව විශේෂයෙන්ම විපක්ෂ නායකතුමා කරුණු දැක්වුවා. විශේෂයෙන්ම මේ පිළිබඳව සජබයේ මතය ප්‍රකාශ කරමින් එතුමා කියා සිටියේ මේ රුපියල් බිලියන 8න් ඔබ්බට ගිය අලාභයක් තියෙනවා කියන එකයි. 

ඒ අලාභය විපක්ෂ නායකවරයා නිශ්චිතව පෙන්වා දෙනවා, එකක් තමා විදුලි ජනනය සඳහා වැයවන ඒ අමතර ගල් අඟුරු ප්‍රමාණයේ පිරිවැය. ඒ කියන්නේ දැන් මේ බාල ගල් අඟුරු නිසා අවශ්‍ය විදුලි ඒකක ප්‍රමාණය නිපදවා ගැනීම සඳහා අමතරව තවත් ගල් අඟුරු යොදා ගැනීමට සිදුවීම නිසා එම ගල් අඟුරු වල පිරිවැය. ඊගාවට එතුමා පෙන්වා දෙනවා මේ ගෙන්වන ලද බාල ගල් අඟුරු නිසා උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර වලට යම් හානියක් සිදුවුවහොත් එම හානිය යථාවත් කර ගැනීම සඳහා දැරීමට සිදුවන පිරිවැය තවත් අමතර හානියක් වශයෙන් කියලා.

මම මේක තව ඉදිරියට ගෙනිච්චොත්, අපිට දැන් කමිටුවක් පත් කරලා තියෙනවා තාක්ෂණික වශයෙන් සහ එම කොමිටි එක ගොඩක් හොඳ කොමිටි එකක්. Professional කොමිටි එකක්. ඒකෙන් කියනවා පාඩුවක් ගණනය කරන්න කියලා. නමුත් මේ කොමිටි එකේ සංයුතිය දිහා බැලුවහම සාමාන්‍යයෙන් මේ සංසිද්ධියේ සෘජු පාඩුව ගණනය කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා කියලා පේනවා. යන්ත්‍ර, ටෙන්ඩර් වල පවතින තත්වයන් පිළිබඳව සලකා බලා යම් ගැලපීමක් කර ගන්න පුළුවන් ඔවුන්ට.

ඔවුන්ට නැහැ මෙහි තියෙන වක්‍ර පිරිවැය හෙවත් ආවස්ථික පිරිවැය ගණනය කර ගැනීමට. දැන් උදාහරණයක් ගත්තොත් වක්‍ර පිරිවැයට අයිති වෙනවා  පරිසර දූෂණය, දැන් අර අළු ප්‍රමාණය වැඩිවීම නිසා ඒ අවට ප්‍රමාණයේ ජනතාවට සිදුවන පාරිසරික හානිය, එතකොට ඒක ගණනයට ඇතුළත් කරන්නට ඕන, ඒ වගේම අවස්ථික පිරිවැයක් තියෙනවා - කැපකිරීමක් තියෙනවා. අර බාල ගල් අඟුරු ගෙනාපු නිසා, පුනර්ජනනීය නොවන බලශක්තිය ඩීසල් වලට ගියොත් එය ඇතුළත් කළ යුතු වෙනවා. 

එතකොට ආණ්ඩුවට අඛණ්ඩව විදුලි සැපයුමක් දෙන්න බැරි වුනොත්, විදුලි කප්පාදුවකට ගියොත්, මොන මොනා හරි අර්බුද වෙලා එතකොට එතනදි කර්මාන්තාංශය අඩපණ වෙනවා, පාරිභෝගිකයින්ට සිදුවන අවාසි, මේ සියල්ලමත් යම් ගණනය කිරීමක් කරන්නට වෙනවා. 

බැරිවෙලාවත් විදුලි බිල  වැඩි කිරීමක් සිදු කරන්න වුවහොත්, ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයට මේ පාඩුව දරාගන්න සිද්ධ වෙනවනේ, වන්දිවලින් අර ආවරණය කරගන්න බැරි හානියක් සිද්ධ වෙනවනේ.

එතකොට ඒ හානියත් මේකට ඇතුලත් කලොත්, පාරිභෝගිකයින්ගේ සුභ සාධනය අඩුවෙනවා, නිෂ්පාදන පිරිවැය මුළු රටේම ඉහළ යන්න පුළුවන්, ප්‍රවාහන පිරිවැය ඉහළ යන්න පුළුවන්, මේ ආකාරයේ වක්‍ර පිරිවැය රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. 

ඒවා ගණනය කිරීමටනම්, අපි ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් ඔබතුමාට සහය දුන්නු අර රුහුණු විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෝ කීපදෙනෙක් ඉන්නවා, ඒ අයව හරි ආර්ථික විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති මහාචාර්යවරයෙක් දෙන්නෙක් මේකට ඇතුලත් කරන්න. නැත්නම් අපිට මෙහි සැබෑ පිරිවැය - සැබෑ පාඩුව ගණනය  කරගන්නට බැහැ කියන එක මතක් කරන්න ඕන."

Advertiesment