Friday 24th of April 2026

English Tamil
Advertiesment


IMF පදයට රාජ්‍ය බැංකු විකුණන්න මුදල් ඇමති සුදානම්..!


2019-02-12 14854

ලංකා බැංකු සේවක සංගමය හමුවීම මුදල් ඇමති මඟ හැරලා..!

රාජ්‍ය බැංකුවල වත්කම්වලින් 10%ක් කොටස් වෙළඳ පොළේ විකිණේ..!

රාජ්‍ය බැංකුවලට අත තිබ්බොත් ආණ්ඩුවට එරෙහිව ජනතාව පෙළ ගැස්සීමට වෘත්තීය සමිති සුදානම්..!

ජනපති විරුද්ධයිලු-අගමැති කැමතියිලු..!

(ශාන්ත කුමාර අබේසිරි)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් මත රාජ්‍ය  බැංකු ප‍්‍රතිව්‍යුහ ගත කරමින් රට පුරා විසීරී ඇති ශාඛා ප‍්‍රමාණය සහ   බැංකුවල සේවක සංඛ්‍යාව අවම කොට බැංකුවල වත්කම්වලින් 10%ක කොටස්, කොටස්  වෙළෙද පොළේ අලෙවි කිරීමට යන කූට වැඩ පිළිවෙළ රජය වහාම හකුලා නොගත හොත් රටේ සමස්ථ වෘත්තීය සමිති සහ රාජ්‍ය බැංකුවල ගනුදෙනුකරුවන් ඇතුළු ජනයා ආණ්ඩුවට එරෙහිව හෙට අනිද්දාම පෙළ ගස්ස වන බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටියි.

ආණ්ඩුව මේ උත්සහා කරන්නේ රාජ්‍ය බැංකු පද්ධතිය ද විකුණා ගෙන කෑමට බව ද,එම සැලසුම ආණ්ඩුව මෙතෙක් හකුලා ගෙන නොමැති බව ද  පෙන්වා දෙන ලංකා බැංකු සේවක සංගමය මේ අනුව ලංකා බැංකුවට සහ මහ ජන බැංකුවට අත් වන්නේ ද ජාතික සංවර්ධන බැංකුවට ඉතිහාසයේ අත් වූ ඉරණමම යැයි ද අවධාරණය කර සිටියි.

රුපියල් කෝටි ගණනක පාඩුවක් ලබමින් සිටින ශ්‍රී ලංකා ගුවන් සමාගම මසකට රුපියක් කෝටි ගණන් මහා භාණ්ඩාගාරයෙන් ලබා දෙමින් ආණ්ඩුව පවත්වා ගෙන යනවා නම්, 2018 දී පමණක් රුපියල් බිලියන 31.06 ක ලාභයක් ඉපයූ ලංකා බැංකුව සහ ඊට සමානව ලාභ උපයා ඇති අනෙකුත් රාජ්‍ය බැංකු විකුණා දැමීමට තිබෙන අවශ්‍යතාවය කුමක් දැයි ප්‍රශ්න කර සිටී ලංකා බැංකු සේවක සංගමයේ මව් සංගමයේ සභාපති චන්න දිසානායක මහතා රාජ්‍ය බැංකුවල තිබෙන සුළු ප්‍රාග්ධන හිඟයට තිබෙන පිළියම එම බැංකුවල කොටස් අලෙවි කිරීම නොව එම ප්‍රාග්ධන හිඟය මහා භාණ්ඩාගාරයෙන් පියවීම යැයි ද පේනවා දුන්නේය.

මේ කාරණය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අවස්ථා ගණනාවකදීම වේලාවක් ඉල්ලා සිටියත් ඔහු මේ වන තුරු ඒ සඳහා අවස්ථාවක් ලබා නොදුන් බව පැවසූ චන්න දිසානායක මහතා සාකච්ඡා කිරීම සඳහා එසේ අවස්ථාවක් ලබා නොදෙන්නේ මේ ප්‍රශ්නයට දෙන්න උත්තරයක් ඒ අයට නොමැති නිසා යැයි ද කියා සිටියේය.

මේ ගැන සාකච්ඡා කිරීමට මුදල් ඇමතිවරයා අවස්ථාවක් නොදුන් තත්ත්වය හමුවේ සිය සංගමය ජනාධිපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ පිළිබඳව පැමිණිලි කරමින් කරුණු ඉදිරිපත් කළ අතර එහිදී,  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කර ඇති යෝජනා කි‍්‍රයාත්මක කිරීමට තමා  කිසි විටෙකත්  ඉඩ නොතබන බවට ජනාධිපතිවරයා ලංකා බැංකු සේවක සංගමයට පොරොන්දු වූ බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ලංකා බැංකුව, මහ ජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය උකස් සහ ආයෝජන බැංකුව, ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව වගේම ලංකා පුත‍්‍ර බැංකුව මෙසේ  ප‍්‍රතිව්‍යුහ ගත කරන ලෙසට රජයට උපදේස් දී ඇති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල රජයට කොන්දේසි කිහිපයක්ද ඉදිරිපත් කොට තිබේ.

අදාළ කොන්දේසි අනුව ගම්වල පිහිටුවා ඇති රාජ්‍ය බැංකු ශාඛා වසා, නගරවල පිහිටුවා ඇති රාජ්‍ය බැංකුවලින් එක් බැංකුවක් පමණක් පවත්වා ගෙන යමින් සෙසු බැංකු වසා දැමීමට නියමිතය.එමෙන්ම රාජ්‍ය බැංකුවල සේවක සේවිකාවන් වන්දි ගෙවා සේවයෙන් ඉවත් කර, රාජ්‍ය බැංකු සියල්ලම පරිගණක ජාල ගත කෙරෙණු ඇත.

ලංකා බැංකුව සහ මහ ජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු සැලකිය යුතු ලෙස ලාභ උපයමින් සිටින පසුබිම හමුවේ එම බැංකුවල කොටස් මෙසේ  නිකුත් කිරීමට තිබෙන අවශ්‍යතාවය කුමක්දැයි ප්‍රශ්න කර සිටින ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ මේ ක්‍රියා මාර්ගයෙන්  රටේ ආර්ථික සහ මුල්‍ය පද්ධතියේ ස්ථාවර භාවයට,ආරක්ෂාවට වගේම ස්වාධීනත්වයට බරපතළ හානියක් සිදු වනු ඇතැයි ද අනතුරු අඟවති.

රාජ්‍ය බැංකුවල වත්කම්වලින් 10%ක් මෙසේ කොටස් ලෙස කොටස් වෙළඳ පොලට නිකුත් කරන විට සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාරිකයින් මාර්ගයෙන් එම කොටස් කූට සහ සැලසුම්සහගත ලෙස පෞද්ගලික බැංකුවලට වගේම විදේශීය මුල්‍ය සමාගම්වලට මිලදී ගත හැකි බව පෙන්වා දුන් එම මුල්‍ය සහ ආර්ථික විශේෂඥයෝ එවිට ඒ අයට ඕනෑම අවස්ථාවක රටේ මුල්‍ය පද්ධතිය සහ ආර්ථිකය ඒ අයගේ න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවීමට වගේම අවශ්‍ය වුණොත් කඩා වැට්ටවීමට හැකි වන බව ද අවධාරණය කළහ.

Advertiesment