(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කර ඒ බලතල ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක ජාතික ආර්ථික සභාවට පැවරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව ඊයේ (20) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී විවාදයකින් තොරවම සම්මත වී තිබේ.
මේ අනුව රටේ සමස්ථ ආර්ථිකය මෙහෙයවීමේ සම්පූර්ණ බලතල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික ආර්ථික සභාවට පැවරෙන අතර එම සභාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ඇතුළත් වෙති.
කෙසේ නමුත් රටේ ආර්ථිකයට සම්බන්ධ අතිශය තීරණාත්මක,වැදගත් සහ කාලීන ප්‍රවණතා සම්බන්ධ කරුණු කරණාවලදී ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු අධ්‍යනය කරමින් සාකච්ඡා කර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් මතු වුණොත් පමණක් ඒ වෙනුවෙන් කැබිනට් මණ්ඩලය යටතේ සිය ප්‍රධානත්වයෙන් යුතුව කමිටු පිහිටුවා ක්‍රියා කිරීමේ බලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී තිබේ.
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ ජනාධිපතිවරයාගේ කැබිනට් පත්‍රිකාවට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් එම සටන අඛණ්ඩව ගෙන යන්න එම පක්ෂය මුලදී තීරණය කර තිබුණත් පසුව එම තීන්දුව වෙනස් කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ මේ කරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිදු කළ සාකච්ඡාවේදී දෙපාර්ශවය ඇති කර පොදු එකඟතාවයන් වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් අතර මේ හමුව පෙරේදා (18) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී සිදුව ඇති අතර එහිදී මේ කරණය වගේම තවත් අතිශය වැදගත් දේශපාලන කරුණු කරණා රැසක් ද සාකච්ඡා වී තිබේ.
Lanka Newsweek © 2026