Friday 24th of April 2026

English Tamil
Advertiesment


මෛත්‍රී “බැහැ” කියයි-කැබිනට්ටුවෙන් නැගිට යයි..!


2018-01-16 14872

(සුමුදු පෙරේරා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින්  අද (16) පැවතී කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගොස් තිබේ.

එස් එම් මරික්කාර්,නලින් බණ්ඩාර සහ සුජීව සේනසිංහ ඇතුළු  එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ද ඇතැම් ඇමතිවරුන් ද තමා ප්‍රසිද්ධියේ විවේචනය කරද්දී ජනාධිපතිවරයා ලෙස තමා මේ වැඩ කටයුතු කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කැබිනට් රැස්වීමෙන් නැගිට යාමත් සමග එම රැස්වීම අතරමග නතර වී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවැනි චෝදනාවක් හදිසියේම එල්ල කරමින් අනපේක්ෂිත ලෙස  කැබිනට් රැස්වීමෙන් නැගිට යාම ගැන සියලු මැති ඇමතිවරුන් අතිශය මවිතයට පත්ව ඇත.

ජනාධිපතිවරයා මෙසේ කැබිනට් රැස්වීමෙන් නැගිට සිය නිල කාර්යාල කාමරයට ගොස් ස්වල්ප වෙලාවකට පසුව එහි ගොස් ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව සමග සාකච්ඡා කර ඔහු අස්වසා සුහදශීලීව කැබිනට් රැස්වීමට යළි කැඳවා ගෙන පැමිණ තිබේ.

බැඳුම්කර ගනු දෙනුව සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා තමා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් පත් කළේ එක්සත් ජාතික පක්ෂයට පහර ගැසීමට නොව දුෂණයට එරෙහිව යැයි එහිදී තරයේ සිහිපත් කර ඇති ජනාධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ධුරයට පත් කරන්න එපා යැයි තමා අගමැතිවරයාට මුලින්ම පැහැදිලිව කියා සිටි බව ද පෙන්වා දී තිබේ.

මේ කාරණය මතුවීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් සහ ඇතැම් මැති ඇමතිවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය ඉලක්ක කර එල්ල කරන විවේචන ගැන ද තර්ක විතර්ක මතු වී අති අතර ඒ සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු මැති ඇමතිවරුන්ව ද, එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් සහ පසු පෙළ මන්ත්‍රීවරුන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඇතුළු මැති ඇමතිවරුන්ව ද පදනම් විරහිතව විවේචනය නොකළ යුතු බවට එහිදී අවධාරණය කෙරිණ.

 
Advertiesment