Friday 19th of June 2026

English Tamil
Advertiesment


මංගල කර ගැසූ “බැරි-බර” ගැන නිලධාරීහූ රනිල්ට කරුණු දක්වති..!


2019-01-06 14882

මුදල් අමාත්‍යංශයේ ආයතනවලින් කොටසක් තෝරා ගත් අමාත්‍යංශ අතර බෙදා හරින්නැයි ඉල්ලති..!

විද්‍යාත්මක පදනමකින් විෂයන් බෙදු අති ගැසට්ටුවක් හෙට අනිද්දාම එළියට..!

විෂයන් බෙදීමේ අඩුපාඩු සැකසීමේ ජනපති-අගමැති සාකච්ඡා ඇරඹේ..!

 

(සුමුදු පෙරේරා)

මුදල් විෂය සම්බන්ධයෙන් පූර්ණ කාලීනව යෙදී සිටිමින් එම කටයුතු මෙහෙයවීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට ප්‍රමාණවත් කාලයක්,විවේකයක් සහ හැකියාවක් නොමැති තත්ත්වය හමුවේ එම අමාත්‍යංශය යටතේ පවතින ජාතික ආර්ථිකයට ඍජුව බලපාන ආයතනවල වැඩ කටයුතු අඩාල වී එම ආයතන සක්‍රීය ලෙස ඉදරියට ගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වනු ඇතැයි මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දී ඇත.

මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ මුදල සහ ජන මාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා යටතේ අතිශය පුළුල් සහ ගැඹුරු විෂය පථවලින් යුතු ආයතන 48ක් වැනි විශාල ප්‍රමාණයක් පැවතීම වගේම වාර්ෂික අය-වැය යෝජනාවලිය සකස් කිරීම සඳහා මුදල් ඇමතිවරයෙකුට අවම වශයෙන් දින 70ක් ගත වන තත්ත්වය යැයි ද එම නිලධාරීන් අගමැතිවරයා හමුවේ අවධාරණය කර තිබේ.

මංගල සමරවීර මහතා ජන මාධ්‍ය අමාත්‍යවරයා ලෙස ද තව දුරටත් ක්‍රියා කරන්නේ නම්, ආණ්ඩුව කළ යුත්තේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන මුල්‍ය විෂයට අදාළව මුදල් අමාත්‍යංශය යටතේ පවතින අති විශාල ආයතන ප්‍රමාණයෙන් තෝරා ගත් කොටසක් රටේ ආර්ථිකය සමග ඍජුව ගැට ගැසී තිබෙන අනෙකුත් අමාත්‍යංශ අතර විද්‍යාත්මක පදනමකින් බෙදා හැර නිශ්චිත කාල රාමුවකට යටත්ව ඉලක්ක ගත වැඩ කොටසක් අදාළ අමාත්‍යංශ සහ අමාත්‍යවරුන් වෙත පැවරීම යැයි ද එම නිළධාරීන්ගේ ස්ථාවරය වී තිබේ.

මේ කරුණු කාරණා සම්බන්ධයෙන් සිය විශේෂ අවධානය යොමු කිරීමට එම නිලධාරීන් හමුවේ එකඟ වී ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් අමාත්‍යවරුන්ට අදාළ විෂයන්,ආයතන,වගකීම් සහ කාර්ය භාරයන් බෙදීමේදී අඩුපාඩු සිදුව ඇති බවට වන ස්ථාවරයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සිටින බව දැනුම් දී ඇත.

කැබිනට් අමාත්‍යවරුන්ට අදාළ විෂයන්,ආයතන,වගකීම් සහ කාර්ය භාරයන් බෙදීමේදී සිදුව ඇති අඩුපාඩු යළි සකස් කිරීමේ සාකච්ඡා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මේ වන විටත් ආරම්භ වී තිබේ. ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් අතර විද්‍යාත්මක පදනමකින් විෂයන් බෙදා වෙන් කෙරෙන අති විශේෂ ගැසට් පත්‍රයක් හෙට අනිද්දාම යළි නිකුත් කිරීමට නියමිතය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment