Friday 19th of June 2026

English Tamil
Advertiesment


එජාපය කඩා අලුත් පක්ෂ හැදූ ද්‍රෝහීන් ගෙදර යවනු


2020-03-09 15231

වජිර අබේවර්ධන එජාප පාක්ෂිකයින්ගෙන් ඉල්ලයි

 

එජාපයට එරෙහිව අලුත් පක්ෂයක් ගොඩනැගීමට කෘත්‍යාධිකාරීය අවසර දුන්නේ නැහැ

 

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් පක්ෂයටම එරෙහිව අලුත් දේශපාලන පක්ෂ නිර්මාණය කර පක්ෂයට ද්‍රෝහී වූ සියලු දෙනා ප්‍රතික්ෂේප කරමින් මහා මැතිවරණයේදී ඒ අයට අමතක නොවන දේශපාලන පාඩමක් උගන්වන ලෙස රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසිය.

තවද වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටින්නේ අලුත් දේශපාලන පක්ෂයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිදු අවස්ථාවක කිසිදු පාර්ශ්වයකට අනුමැතිය ලබා දී නොමැති බවය.

සන්ධාන ව්‍යවස්ථාවක් සකස් කර එම ව්‍යවස්ථාව කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබාදුන් බවත් අද දක්වා එවැනි ව්‍යවස්ථාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් වී නොමැති බවත් වජිර අබේවර්ධන මහතා පවසයි. ඒ වෙනුවට වෙනත් පක්ෂයක නිළධාරීන් කිහිප දෙනෙකු ඉවත් කර ඒ වෙනුවට එජාපයේ පිරිසක් නම්කර ඇති බවත් එය පක්ෂයට ද්‍රෝහී වීමක් ලෙස සැලකිය හැකි බවත් වජිර අබේවර්ධන මහතා පෙන්වා දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පුරා විවිධ අවස්ථාවලදී විවිධ කණ්ඩායම් වෙනත් පක්ෂ නිර්මාණය කර ගනිමින් පක්ෂයෙන් ඉවත් වී ඇති බවත්, මේ මොහොතේදීද සිදුවන්නේ එවැන්නක් බවත් පෙන්වා දෙන වජිර අබේවර්ධන මහතා පවසන්නේ එය පක්ෂයේ බෙදීමක් ලෙස හැඳින්විය නොහැකි බවයි.

ඒ අනුව කිසිදු බෙදීමකින් තොරව එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව ද වජිර අබේවර්ධන මහතා අවධාරණය කර සිටියේය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment