Friday 19th of June 2026

English Tamil
Advertiesment


පාලකයින් ජනතා මතයට ගරු කළ යුතුයි


2021-11-23 15497

 

ගොවියන් මුහුණ දුන් දුක් පීඩා අනන්තයි

 

ළමා අයිතිවාසිකම් අහිමි කිරීම පාපකර්මයක්

 

විදේශ ආයෝජන ලබා ගැනීමට නම් ලෝකයාගේ ගෞරවය උපයාගත යුතුයි

 

මහ කන්නයට රසායනික පොහොර ගෙන ඒමට අවසර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කරන අතරම  අදාළ අමාත්‍යවරයා ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ප්‍රකාශ කර ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

මේ නිසා ගොවියන්, වගාකරුවන් තුළ විශාල ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති අතර එක් රජයක දෙපාර්ශවයක් මත දෙකක් ඉදිරිපත් කිරීම රාජ්‍ය පාලනයට ඉතා අහිතකර බව රජය ගැඹුරින් වටහා ගත යුතු බව ද ඒ මහතා පැවසීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා මේ බව පවසා සිටියේ අඟහරුවාදා (23) කිරුලපන  දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී තව දුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

ජනාධිපතිතුමන් විසින් ඊයේ දින කෘෂි රසායන පොහොර ගේන්න පෞද්ගලික අංශයට අවසර දීමේ ප්‍රතිපත්තිය යම්තාක් හෝ සාර්ථක වන්නේ ඒ සඳහා අවශ්‍ය විනිමය ක්ෂණිකව මුදාහැරීම තුළයි. එසේ නොමැති වුවහොත් එය ගෑස් ආනයනය කිරීම ප්‍රමාද වූ ආකාරයට අසාර්ථක උත්සාහයක් වනු ඇත.
 
අපද කොම්පෝස්ට් භාවිතය වැදගත් බව නැවත නැවතත් කියන අතර ඒ සඳහා අඩුම වශයෙන් අවුරුදු පහක කාලයක්වත්, සාර්ථක අත්හදා බැලීමක් අවශ්‍ය බව පෙන්වා දිය යුතුය. ඉන්දියානු අගමැති මෝදි මහතා කෘෂිකර්මය පිළිබඳව තමන් ගත් තීරණයක් වෙනස් කළේ එය ජනතාව අනුමත නොකළ හෙයිනි. ජනතා මතයට ගරු කිරීම තම යුතුකම හෙයිනි. එවැනි තීරණයක් ගැනීම ගැනද කණගාටුව පළ කිරීමට පවා එතුමා නිහතමානී විය.
 
රසායනික පොහොර භාවිතය පසුගිය අප්‍රේල් තහනම් කළ දා සිට අද වන තුරු මෙරට ගොවියන් මුහුණ දුන් දුක් පීඩා අනන්තයි. ගෘහණියන් තම අත, කණ, කර භාණ්ඩ උගස් කරමින් වගා කටයුතු කරනු ලැබුවත් පලදාව ඉතාමත්ම අඩු වී ඇති බව අප දැනුවත් වී සිටිනවා. ඒ ගැන අපි කතා කරන්නේ හැඟීම්බරවයි.
 
පෙළපාලි ගොස් විරෝධතා පළ කරමින් රජයේ මෙම තීරණය වෙනස් කිරීමට ඔවුන් ගත් අහිංසක උත්සාහය අපට රහසක් නොවේ. එම නිසා යතාර්ථය වටහා ගෙන රජය දැන්වත් සිය ප්‍රතිපත්තීන් ගෙන් යම් තරමකින් හෝ බැහැර වීමට තීරණය කිරීම ජනතාවට සැනසීමක් වනු ඇත. එම නිසා ඉදිරියේ දී හෝ මෙවැනි තීරණ ගැනීමේදී විද්වතුන්ගේ හා ගොවියන්ගේ අදහස් ද විමසා අවශ්‍ය පියවර ගැනීම බුද්ධිමත් ක්‍රියාවක් බව රජය වටහා ගත යුතුයි.
                          
දැන් රජය විසින් ඉටු කළ යුතු විශාල මානුෂික යුතුකමක් ඇත. එනම් රසායනික පොහොර ගැටළුව හේතුවෙන් කඩිනමින් අගතියට පත් ගොවීන්ට සාධාරණ වන්දියක් ලබා දීමයි. එය නොවලහා ඉටු කරන ලෙස අපි බලධාරීන්ට මතක් කර දීමට කැමතියි.
 
ඉහත සඳහන් කරුණ මෙන්ම තවත් ජාතික වැදගත්කමින් යුත් කරුණක් ගැන සඳහන් කිරීමත් අපගේ යුතුකමක්. බොහෝ කලකට පසු සියලු පාසල් පූර්ණ වශයෙන් විවෘත වී අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම දකින්නට ලැබීම අපට විශාල මානසික සහනයක් ගෙන දුන්නා. ඒ ඡායාරූප දුටු විට අපට විශාල තෘප්තියක් ලැබුණා.
 
අප කලින් ද සඳහන් කළ ආකාරයට දරුවන්ගේ පාසල් සමය ලැබෙන්නේ එක් කාල පරිච්ඡේදයක දී පමණයි . ඒ ළමා අයිතිවාසිකම් අහිමි කිරීම පාපකර්මයක් ලෙස අප දකිනවා. අපට ඇති වටිනාම සම්පත ඊළඟ දරු පරපුරයි. එම සම්පත  රැකගෙන ලබාදිය හැකි උපරිම දැණුම, බුද්ධිය ලබා දී නවීන ලෝකයට මුහුණ දියහැකි නව පරපුරක් බිහිකිරීම  අපගේ පරමාර්ථය විය යුතුයි.
 
විශ්ව විද්‍යාල විවෘත කිරීම කල් නොයවා සිදු කළ යුතු අතර ඉන්පසු රජය ගුරුවරු හා ශිෂ්‍ය පරපුර ආදී සියළු පාර්ශව අනෝන්‍යය අවබෝධයෙන් හා විශ්වාසයෙන් කටයුතු කර දරුවන්ට අහිමි වූ අධ්‍යාපනය ලබාදීම සෑමදෙනාගේම යුතුකම වශයෙන් සැලකිය යුතුයි. ඉදිරියේදී අධ්‍යාපන කටයුතු සඳහා බාධාවක් නොවේවායි අපි ඉත සිතින් පතනවා.
 
ශක්තිමත් ජාතියක් වශයෙන් ඉදිරියට යෑමට දළ ජාතික නිෂ්පාදනයෙන් 8% ක් වත් අධ්‍යාපනය සඳහා ඉදිරියේදී වෙන් කිරීමට පියවර ගැනීම යෝග්‍ය බව අපගේ විශ්වාසයයි.
 
මේ දිනවල අප රට, ජනතාව මුහුණ දෙන අසීමිත දුෂ්කරතා ගැන සඳහන් කරන්නේ විවේචනයක් වශයෙන් නොව එයින් ගැලවීම සඳහා මනා දර්ශනයක් හා සැලැස්මක් මෙන්ම ජාතික එකඟතාවයක අවශ්‍යතාවය අපට පෙනී ඇති හෙයිනි.
 
ගෘහ ජීවිතයට අවශ්‍ය හාල් සීනි, ගෑස්, කිරිපිටි, එළවළු ආදී සෑම දෙයක්ම දැඩි හිඟයකට හෝ අධික මිලකට පත්ව ඇත.
 
විදේශ විනිමය හිඟකම නිසා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා බෙහෙත් හේත් ආනයනය බොහෝ සේ අඩපණ වී ඇත. මේ සඳහා ජාතියක් වශයෙන් වහා පියවර ගත යුතුව ඇත.සංචාරක ව්‍යාපාරය කෙටිකාලීනව අපට ශක්තියක් ලබා ගත හැකි ව්‍යාපාරයකි. මාලදිවයිනට හා සිංගප්පූරුවට වඩා වටිනා පිහිටීමක් ඇති අපට ඒ සඳහා ක්‍රියාත්මක විය හැකියි. රජයේ සහයෝගය මෙහිදී ඉතා අවශ්‍ය වේ. මේ සඳහා සාමකාමී පරිසරයක් ද රට තුළ පැවැතිය යුතුය.
 
විදේශ රැකියා ලාභී ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබෙන මුදල් 50% ක් පමණ අඩුවී ඇති බව ඇති බව පසුගියදා වාර්තා විය එයට හේතුව ඩොලරයට හෝ අනෙකුත් විදේශ මුදල්වලට ලැබිය යුතු නියම අනුපාතය ලංකාවේ දී ලබාගත නොහැකි නිසයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහාය රජය ලබා නොගැනීම අපට තේරුම් ගත නොහැක. රටක් මෙවැනි අසරණ  තත්වයකට වැටී සිටියදී ලබාගත හැකි සහන බොහෝයි. පුවත්පත් වලින් අප දුටුවේ රජය තුළ මේ ගැන මත දෙකක් ඇති බවයි මෙය විහිලුවකි.
 
පසුගියදා අයවැය ඉදිරිපත් කිරීමේදී පාඩු ලබන ආයතන නිසා විශාල බරක් ජනතාව මත පැට වී ඇති බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. මෙහි පහත සඳහන් වන්නේ රජයට අයත් වාණිජ ආයතන 52 තුළ ඇති පාඩු ලබන ආයතනවල ක්‍රියාකාරීත්වය නිසා ජනතාවට එම බර පැටවෙන ආකාරයයි. 
 
 
ආයතනය                                         2020 මුළු වර්ෂය සඳහා වූ පාඩුව                     2021 පළමුවැනි මාස 4 සඳහා පාඩුව (රුපියල් බිලියන )           
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව                 45.3                                               
ලංකා විදුලිබල මණ්ඩලය                                62.5                                                 7.5
ශ්‍රී ලන්කන් ගුවන් සේවය                                45.2                                                 24.5
සිවිල් ගුවන් සේවා ආයතනය                           3.75    
ලංකා ගමනාගමන මණ්ඩලය                           2.38
ලංකා ස.තො.ස                                             1.38
ඉංජිනේරු සංස්ථාව                                        1.00
 
පාඩු ලබන ආයතන වල පළමුවැනි මාස හතර තුළ ක්‍රියාකාරීත්වය තවදුරටත් පිරිහී ඇති බව පෙනේ 2020 පාඩුවේ බිලියන 115 පමණ වූ විශාල මුදල් සංඛ්‍යාව ජනතාව වෙනුවෙන් යෙදවිය හැකි ව තිබුණි. 

ජනතාව පිට මෙම බරපැටවීම සාධාරණ ද? ආයතනයක් පාඩු විඳින්නේ කළමනාකාරීත්වයේ වරදිනි ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් නව කළමනාකරණ ක්‍රම සහ විධි දියත් කර මෙම මහා ධන විනාශයන් මුදල් උපයන උල්පත් බවට පරිවර්තනය කර ඇත. 
 
අවශ්‍ය වන්නේ රජය විසින් ස්ථාවර දැක්මක් ඇති සැලැස්මක් තුළ ක්‍රියා කිරීමයි. විදේශ ආයෝජන ලබාගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී විනිවිද පෙනෙන, ස්ථාවර ප්‍රතිපත්ති අනුගමනය කරන, නීතියේ ආධිපත්‍යය සුරකින රටක් වශයෙන් ලෝකයා ගේ ගෞරවය උපයාගත යුතුයි. රජය මෙය දැන්වත් තේරුම්ගතයුතුයි.
 
පසුගිය වකවානුව තුළ අසීමිත ලෙස සුඛෝපභෝගී ආනයන සඳහා විශාල මුදලක් නාස්ති වූ බව අප දන්නා කරුණක්. අපගේ අපනයන කේෂ්ත්‍රය මේ නිසා සම්පූර්ණයෙන් බිඳ වැටිණ.
 
කුඩා හා මධ්‍ය පරිමාණ  කර්මාන්ත තුළින් අපට ඉදිරියට යා හැකියි. ජර්මනියෙන් මෙහිදී අපට ආදර්ශ ලබා ගත හැකියි. එහිදී අවශ්‍ය වන්නේ අපගේ ව්‍යවසායකයින් ලොවට හඳුන්වා දීමයි. මෙහිදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ උපදෙසින් 1992 වර්ෂයේ දී  EXPO 92 අපගේ පළමුවැනි අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය සිහියට නැගේ. 5000 කට ආසන්න විදේශ ගැනුම්කරුවන් මේ සඳහා සහභාගි විය.

එය සාර්ථක වෙළඳ ප්‍රදර්ශණයක් බවට පමණක් නොව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බොහෝ දෙනෙකු මේ තුළින් විශාල පන්නරයක් සහ අත්දැකීම් ලබාගත් බවත් අපි දනිමු. 2022 දී මෙවැනි අපනයනය ප්‍රදර්ශනයක් පවත්වා ලෝකයා හමුවට අප ව්‍යවසායකයින් හඳුන්වා දෙනුලැබීය. එදා තේමාව වූයේ "EXPORT OR PERISH" අපනයනය කරනු නැත්නම් විනාශවනු යන්නයි.
 
දකුණු ආසියාවේ සෑම රටක්ම  දියුණු වූයේ අපනයනය කෙරෙහි අවධානය යොමු කළ හෙයිනි. එක් වහලක් යට (ONE STOP SHOP) සංකල්පය හා "(PUBLIC PRIVATE PARTNERSHIP)  රාජ්‍ය පුද්ගලික සහජීවනය" දකුණු ආසියාවට හඳුන්වා දුන්නේ ජේ.ආර්  ජයවර්ධන ජනාධිපතිතුමා විසිනි. 
 
චීනයේ නායක ඩෙං ෂියාඕ පෙන්ග් හා මැලේසියාවේ අගමැති මහතීර් මොහොමඩ් නායකවරුන් තම රටවලට ද ශ්‍රී ලංකාව තුළ යොදාගත් සංකල්පය අනුගමනය කළ බව දන්නේ කිහිප දෙනකු පමණි.  මෙම කරුණ අන්තර්ජාතිකව වාර්තා වී ඇත.සත්භාවයෙන් හා ජාත්‍යාලයෙන් අප ඉදිරිපත් කළ අදහස් හා යෝජනා රජයේ අවධානයට යොමු වේවායි අපි ප්‍රාර්ථනා කරමු


 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment