"රටක් ලෙස හුදකලාව අපිට ගමනක් නැහැ. අපි රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කර ගත යුතුයි. එහෙත් වර්ථමානයේ විදෙස් සබඳතා කළමනාකරණය කරමින් අප සියලු රටවල් සමඟ මිත්‍රශීලී ගණුදෙනුවක් සිදු කරන බවක් පෙනෙන්නට නැහැ. විවිධ රටවලට විවිධාකාර අදහස් ප්‍රකාශ කිරීමෙන් සිදු වන්නේ රටක් ලෙස අපගේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්තිය හෑල්ලුවට ලක්වීම" යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 39 වැනි අදියර යටතේ අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙරටට පැමිණෙන බව පැවසෙන චීන නැව සම්බන්ධයෙන් රජය විවිධ අදහස් පළ කර ඇති බවත්, ඒ පිළිබඳ ඉන්දියාව වෙත තවත් අදහසක් ප්‍රකාශ කර ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, එකම කරුණක් සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය පිළිබඳ ජාත්‍යන්තරයේ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ, රටේ අධ්‍යාපනය ක්‍රමයේ ඉංග්‍රීසි භාෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු බව තමා දැඩිව විශ්වාස කරන අතර ඒ ඔස්සේ ලොව දිනන පුරවැසියන් නිර්මාණය කිරීමට හැකියාව උදා වනු ඇති බවය.
තමා නිරන්තරයෙන් සුහුරු රටක් නිර්මාණය කිරීමේ ඉලක්කයක සිටින අතර ඒ වෙනුවෙන් මේ මොහොතේ සිදු කළ හැකි ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
බොහෝ දෙනෙකුට සුහුරු රටක් ගොඩනැගිය යුතු බව අවබෝධ වූයේ, සක්වල වැඩසටහන වචනයකට හෝ පොරොන්දුවකට සීමා නොවී එම වැඩ සටහන මහ පොලවේ යතාර්ථයක් වූ පසුව බවත්, තමා එම වැඩ පිළිවෙළ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාවට නංවන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.
Lanka Newsweek © 2026