Friday 19th of June 2026

English Tamil
Advertiesment


ආර්ථිකය ගොඩගැනීම සඳහා දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි 


2024-04-23 14904

 

රනිල් හැර විකපයක් ඉතිරි වී නැහැ 

 

ප්‍රතිසංස්කරණ සිදු නොකර "System Change" කරන්නේ කෙසේ ද..?

 

-රවී කරුණානායක අවධාරණය කරයි-

 

රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

මේ සියලු අභියෝග ජය ගැනීම සඳහා මුළු රටම එක මිටට එකාසේ එකට ඒකරාශී විය යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඊට නායකත්වය දිය හැකි යැයි ද, ඔහු හැර කිසිම විකල්පයක් රටට-ජනතාවට ඉතිරිව නැතැයි ද රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දක්වන කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ ද අවධාරණය කර සිටියි. 

"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගනිමින්, ඒ වෙනුවෙන් ප්‍රමුඛ අවධානයක් ලබා දෙමින් සහ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරමින් කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩගනිමින් සිටිනවා. 

"System Change" ගැන කතා කරන උදවිය, ජනාධිපතිවරයාගේ මෙම සාධනීය දේශපාලන-ආර්ථික සහ සමාජ වැඩ පිළිවෙළ හමුවේ භීතියට පත්ව මේ ගමන යළි හැරවීම සඳහා විවිධ පටු දේශපාලන සටන් පාඨ කියමින් දේශද්‍රෝහී සහ ජාතිද්‍රෝහී ලාභ උත්සාහයක යෙදී සිටිනවා.

ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රතිසංස්කරණ සිදු නොකර "System Change" කරන්නේ කෙසේ ද කියා එක්සත් ජාතික පක්ෂය ලෙස අප මේ අවස්ථාවාදීන්ගෙන් සහ බල ලෝභී අන්තවාදීන්ගෙන් ප්‍රශ්න කර සිටිනවා. ප්‍රතිසංසකරණවලින් තොරව "System Change" සිදු නොවන බව කුඩා දරුවෙකු පවා දන්නවා. 

මගේ අදහස නම් රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදයට පිළියම් කිරීම වෙනුවෙන් පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතුයි. ඒ මන්ද මේ සුවිසල් අභියෝගය, වගකීම සහ කාර්යභාරය ජනාධිපතිවරයාට පමණක් තනිවම ජය ගත නොහැකියි. ඒ සඳහා මුළු රටම එක මිටට එකාසේ එකට ඒකරාශී විය යුතු අතර රනිල් වික්‍රමසිංහ මහතාට ඊට නායකත්වය දිය හැකියි.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු බලය ලැබූ අවස්ථාවලදී ආර්ථික ප්‍රතිපත්තිය ගෝලීය ප්‍රවණතාවන්ට ගැළපෙන ආකාරයට යාවත්කාලීන කිරීමට උත්සාහ කළා. ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තා. නමුත් ඒ සඳහා පැමිණි බාධා අති විශාලයි. විවිධ අවලාද නැගුවා. අපට පෞද්ගලිකව පවා සාවද්‍ය චෝදනා එල්ල කළා. ඒ චෝදනා අපේ දේශපාලන කටයුතුවලට ඉතාම නරක ලෙස බලපෑවා. නමුත් අප අපේ ප්‍රතිපත්ති වෙනස් කළේ නෑ. ඒ රට-ජනතාව වෙනුවෙනුයි."

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment