Friday 19th of June 2026

English Tamil
Advertiesment


රට ගොඩ දැමීමේ ගෞරවය ජනපතිට හිමි විය යුතු බව වික්ටර් අයිවන් කියයි 


2024-06-08 14937

 

එදා රට තිබුණේ මහත් පීඩාකාරී සහ අවලස්සන තත්ත්වයක

 

ජන මත විචාරණයක් අවශ්‍යද..?

 

මහත් පීඩාකාරී සහ අවලස්සන තත්ත්වයක තිබූණු රට මේ මොහොතේ තිබෙන තත්ත්වයට ගොඩ දැමීමේ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය යුතු බව ප්‍රවීන ජනමාධ්‍යවේදී සහ ප්‍රකට දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා අවධාරණය කර සිටියි. 

ප්‍රවීන ජනමාධ්‍යවේදී සහ ප්‍රකට දේශපාලන විචාරක වික්ටර් අයිවන් මහතා මේ බව කියා සිටින්නේ, "ජන මත විචාරණයක් අවශ්‍යද" යන තේමාව යටතේ සිය නිල "Facebook" පිටුවේ විශේෂ සටහනක් තබමින් වන අතර එම සටහන සම්පූර්ණයෙන් මෙසේය.

"රට තිබෙන්නේ දේශපාලන අර්ථයෙන් තීරණාත්මක සන්ධිස්ථානයකය. මේ වන විට රට තිබෙන්නේ මීට වසර දෙකකට පමණ පෙර තිබුණ නරකාදියක්  බඳු තත්ත්වයක නොව ඊට වඩා බොහෝ යහපත් තත්ත්වයකය. මහත් පීඩාකාරී සහ අවලස්සන තත්ත්වයක තිබූණු රට මේ වන විට තිබෙන තත්ත්වයට ගොඩ දැමීමේ ගෞරවය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලැබිය යුතුය. 

තව දුරටත් ශ්‍රී ලංකාව තිබෙන්නේ ජනාධිපතිවරයාගේම වචනවලින්ම කියනවා නම් තව ටික දුරක් අවදානම් සහගත වැල් පාලමේම ගමන් කළ යුතු තත්ත්වයකය. ඒ දුෂ්කර අවදානම් සහගත ඉතිරි ගමනේ නියමුවා විය යුත්තේ රනිල් වික්‍රමසිංහම ද වෙනත් නායකයෙකුද යන්න තීරණය කළ යුත්තේ මහ ජනතාව විසින් ජනාධිපතිවරණයකින් විනා එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් රංග බණ්ඩාර යෝජනා කර තිබෙන ආකාරයට ජන මත විචාරණයකින් නොවේ. 

ජන මත විචාරණ ක්‍රමයක් තිබෙන්නේ කිසියම් මත භේදාත්මක ප්‍රශ්නයක් පිළිබඳව මහ ජනයාගේ අදහස් දැන ගැනීමට විනා බලයේ සිටින ජනාධිපතිවරයෙකුගේ හෝ පාර්ලිමේන්තුවක නිල කාලය දීර්ඝ කර ගැනිම සඳහා නොවේ. 1982 අපකිර්තිමත් ජන මත විචාරණය රටට කළ විනාශය අති විශාලය. 

එම ජන මත විචාරණය සිංහල දකුණේත් දෙමළ උතුරේත් ඇතිවූ මහා ලේ වැගිරීම් කෙරෙහි බල පෑවේය. පැවති දේශපාලන ක්‍රමය විකෘති සහ බෙලහීන කොට ජරාජීර්ණ කිරීමට බලපෑවේය. එදා ජන මත විචාරණයක් නොපවත්වා පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වී නම් එම මැතිවරණය ජය ගන්නේද බලයේ සිටි ආණ්ඩුව විනා විරුද්ධ පක්ෂය නොවේ. 

එහෙත් ආණ්ඩුවට තිබුණ හයෙන් පහේ බලය නැතිවී විරුද්ධ පක්ෂයට කිසියම් වැඩි නියෝජනයක් ලැබෙන්නට නියමිතව තිබුණ අතර ජනාධිපති ජේ ආර් ජයවර්ධනට අවශ්‍ය වුයේ එවැනි වෙනසක් පවා ඇති වන්නට ඉඩ නොදී තිබුණු හයෙන් පහේ බලය පවත්වා ගෙන යාමය. 

ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ එම දේශපාලන ආත්මාර්ථකාමය වෙනුවෙන් රට ගෙවන ලද වන්දියේ පරිමාව අති විශාලය. මේ මොහොතේ රට තිබෙන්නේ ජනාධිපති වරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් විය යුතු අවස්ථාවක විනා ජන මත විචාරණයක් පැවැත් විය යුතු අවස්ථාවක නොවේ. රටේ ඊළඟ පාලකයා සහ පාලක කණ්ඩායම තීන්දු කළ යුත්තේ ජනාධිපතිවරණයකින් සහ පාර්ලිමේන්තු මැතිවරණයකින් මහ ජනයා විසිනි. මහ ජනයාට තිබෙන එම අයිතියට අත නොතැබිය යුතුය."

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment