අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

වසර දෙකයි - රටට සුබයි කිව්වට අලි මිනිස් ගැටුමට විසඳුම් නැහැ

ගොවියාගේ අස්වැන්නට නිසි මිලක් නැහැ

විපක්ෂ නායක චෝදනා කරයි

සජිත් ප්‍රේමදාස

අලි මිනිස් ගැටුම තවදුරටත් අප රටේ පොදු ජනතාවට සහ වන සම්පතට මුහුණ දෙන බරපතළ ගැටලුවක් වී ඇති බවත් ගොවි ජනතාව කණකර උගස් කර දේපල උගස් කර ගිණි පොළියට මුදල් ගෙන ගොවිතැන් කටයුතු කළත් දේපළ හානි ජීවිත හානි සහ වගා හානි සිදුවන බවත් අප රටේ මිනිස් ජීවිත රැක ගැනීමට, කෘෂිකර්මාන්තය රැක ගැනීමට සේම වන අලි සම්පත රැක ගැනීමේ බහුවිධ අරමුණු එකවරම ඉටු කිරීම ගැටලුවක් යැයි සිතුවත් එය කළ හැකි බවත් අලි මිනිස් ගැටුම ඇති ප්‍රදේශවල සේම වන සම්පත විහිදී ඇති බලප්‍රදේශවල සිටින ජනතාවට ප්‍රතිලාභ ජීවනෝපාය ලැබෙන ආකාරයේ පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමේ අරමුණින් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ වැව්ගම්මාන බලප්‍රදේශයේ සිදු කරන ලද සංචාරයක් අතරතුරය.

දැන්වීම

අලි වැට විදුලි වැට ආදිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සේම ලුණුගම්වෙහෙර වැනි වනෝද්‍යාන සංවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයන් ගෙන්වා එමගින් උත්පාදනය වන ආදායම ජනතාවට ලැබෙන ආකාරයේ ප්‍රජා කේන්ද්‍රීය වන ජිවී සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතු බවත් එවැනි වැඩපිළිවෙළක් ජාතික වශයෙන් අලි මිනිස් ගැටුම ප්‍රබලව ම ක්‍රියාත්මක බලප්‍රදේශවල සිදු කළ යුතු බවත් වත්මන් රජය මේවා මගහැරීම නොව මේවාට මුහුණ දී සතා සිව්පාවා රැක ගැනීම සේම ජීවනෝපාය ශක්තිමත් කර ගැනීම ද සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එක පෑන් පාරින් නම් අලි මිනිස් ගැටුම විසදුනේ නෑ

මැතිවරණ සමයේ එක පෑන් පාරින් අලි මිනිස් ගැටුම විසදනවා යැයි පැවසුවත් අද ඒ සියල්ල කඩවුණු පොරොන්දු වී ඇති බවත් දැන් රජයේ මන්ත්‍රීවරුන් හෝ වගකිවයුතු පුද්ගලයන් පවා මේ ගැටලුව හමුවේ සැගවී ඇති බවත් පරිසර සංරක්ෂණයට මුල්තැන ලබා දෙන ජන ජිවිත ආරක්ෂා කරන දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගය විසින් ප්‍රජා කේන්ද්‍රීය ප්‍රජා නායකත්ව පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළක් කරා යා යුතු බවට යෝජනා කරන එල්ලෙන විදුලි වැට ඇතුළු නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විධිමත් ඵලදායී වගා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න

අලි මිනිස් ගැටුම තුළ නිර්මාණය වන වෛරය අවම කරන්නට කළ හැකි ක්ෂණික විසදුමක් වන්නේ විධිමත් කාර්යක්ෂම ප්‍රඵලදායී වගා රක්ෂණ ක්‍රමවේදයක් සිදු කිරීම බවත් මෙහි බර ගොවියාගේ කරපිට පටවන්නේ නැතිව රජයේ අනුග්‍රහයෙන් විධිමත් වගා රක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මේ තුළින් වගා හානි වුවහොත් රක්ෂණ මුදලක් ලැබෙන නිසා ගොවියාට සහනයක් ලැබෙන බවත් අද වගා රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නමට පමණක් මිස නිවැරදිව ක්‍රියාත්මක නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2027 අයවැයේදීවත් මේ ගැටලුව කෙරෙහි අවධානය යොමු කරන්න

2027 අයවැය යෝජනා ඉදිරිපත් කරන්න නියමිත නිසා දැන්වත් වන අලි සම්පත වන සතුන් සම්පත මිනිස් ජීවිත හා කෘෂිකර්මාන්තය ආරක්ෂා වන කඩිනම් වැඩසටහන් 02ක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් වසර 02යි රටට සුබයි කිව්වට අලි මිනිස් ගැටුමට නම් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ගොවියාගේ නිෂ්පාදනයට පවා මිලක් නොලැබුණු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරිසර සංරක්ෂණය ගැන දැන්වත් කයිවාරු ගහන එක නතර කරන්න

වන ජිවී ක්ෂේත්‍රයේ භෞතික හා මානව සම්පත් හිගයක් ඇති බවත් සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රයෙන් 5000ක් හා බහු කාර්ය ක්ෂේත්‍රයෙන් 3500ක් ඇතුළු 8500ක් බඳවා ගන්නා බවට පැවසුවත් ඔවුන්ට හිමි වගකීම නිවැරදිව පවරා නොමැති බවත් පරිසර සංරක්ෂණය ගැන කයිවාරු නොගහ ගොවියා රජකරවනවා කියා කයිවාරු නොගහ වගා රක්ෂණ වැඩපිළිවෙළක් ඉදිරිපත් කර අලි මිනිස් ගැටුම අවම කරන්න යොමුවන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
වසර දෙකයි - රටට සුබයි කිව්වට අලි මිනිස් ගැටුමට විසඳුම් නැහැ | Lanka Newsweek