අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රජය රු. 120ට වී මිල තීන්දු කරලා ගොවි ජනතාව දුප්පත් කළා

විපක්ෂ නායක චෝදනා කරයි

සජිත් ප්‍රේමදාස

වත්මන් රජය ගොවි ජනතාව අනාථ කර ඇති බවත් කෘෂිකර්ම ඇමතිවරයා කියන ආකාරයට අක්කරයකින් නාඩු වී කිලෝ 2315ක සාමාන්‍ය අස්වැන්නක වී කිලෝවට රු 120ක් රජය දෙන විට රු. 277,800ක ආදායමක් ලැබෙන බවත් වී කිලෝ 2315ක් ලබා ගන්නා විට වී කිලෝවකට රු. 120ක් රජයෙන් නියම කරන විට වී කිලෝවක් නිෂ්පාදනය කරන්න යන මුදල කිලෝ 2315න් වැඩි කළ විට රු. 175940ක් වියදම් වන බවට රජය පවසන බවත් අක්කරයක ප්‍රමාණය ගණනය කර ආදායම රු. 277,800ක් සහ වියදම රු. 175,940ක් වන විට ගොවියාට ඉතිරි වන්නේ රු. ලක්ෂයක් බවත් මේ ලක්ෂය මාස 6න් බෙදන විට මාසයකට ගොවියාට ලැබෙන්නේ රු.16666ක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

අක්කරයක වගා කටයුතු කර රු. 16666ක මාසික ආදායමක් ලබන විට අක්කර 2කින් රු. 32000ක් මාසිකව ලබා ගෙන සාමාජිකයන් 4ක් සිටින පවුලක් නඩත්තු කරන්න පුළුවන්ද කියා ප්‍රශ්න කරන බවත් ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සෞඛ්‍ය හා අධ්‍යාපන අවශ්‍යතා ආදිය මේ මුදලින් සපුරාගත හැකි ද කියා ප්‍රශ්න කරන බවත් රු.32000ක මාසික ආදායමක් ලබන්නේ නම් ඒ පවුල දුප්පත් බවත් වත්මන් රජය රු. 120කට වී මිල තීන්දු කිරීමෙන්ම ගොවි ජනතාව දුප්පත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගිරාදුරුකෝට්‌ටේ ප්‍රදේශයේ පැවැති ගොවිජන හමුව අමතමිනි.

වසර 2යි රටට සුබයි රු. 150 සහතික මිල නීතිය ගොවියාට අහිමියි

වත්මන් රජයේ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පසුගිය මැතිවරණ සමයේ ගොයම් කකා වී කිලෝවට රු. 150ක සහතික මිල රටේ අනපණත් හරහා නීතියක් බවට පත් කරන බව පැවසුවත් වසර 2යි රටට සුබයි කියා මේ රු. 150 සහතික මිල නීතිය ගොවියාට අහිමි බවත් පසුගිය දිනවල ලාල් කාන්ත අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී වි කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් වැයවන බව පැවසුවත් රජය වී කිලෝවක සහතික මිල ලබා දෙන්නේ රු. 120ක් බවත් මේ රජය හිතාමතාම රු. 17ක් වි කිලෝවකින් ගොවියාට පාඩු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි පුතාගේ රජයට දැන් වී වගාව සුදුසු නැතිලු

රු. 120ක සහතික මිලක් නියම කලත් මේ රජය තෙත් වී රු. 80ටත් වියළි වී රු. 90-100 අතරට මිල දි ගත් බවත් රජය ලබා දෙනවා කියන සහතික මිල හෝ අද නොමැති බවත් මේ රජය හිතාමතාම ගොවි ජනතාව රවටා මංමුලා කර ඇන්දවූ බවත් ලක්ෂ 21ක් වී ගොවිතැන් කරන පවුල්වලින් බහුතරය මේ රජය පත් කර ගත්තේ ගොවි ජනතාවට සාධාරණයක් කරන්න වුවත් අවසානයේ අද අනුර කුමාර දිසානායක ගොවි පුතාගේ රජය වී වගාව සුදුසු නොමැති බව පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි පුතාට ගොවියාගේ දුක තේරෙන්නේ නෑ

වී ගොවිතැනේ නියැලෙන ජනතාව විදින දුක රජ පුටුවේ සිටින ගොවි පුතාට නොතේරෙන බවත් ගොවි ජනතාව කනකර උගස් කර පොහොර බිත්තර වී ආදිය ගන්නා බවත් පොහොර සහනාධාරය පවා අද ප්‍රමාණවත් නොමැති බවත් රු. 60000කින් අක්කර 2කට පොහොර ගන්න නොහැකි බවත් අද ගොවි ජනතාව අමාරුවෙන් බිත්තර වී පොහොර ලබා ගෙන විශාල මුදලක් ගෙවා කෘෂි උපකරණ පවා මිලදී ගන්න සිදුව ඇති බවත් මේ රජය කෘෂී උපකරණවලට පවා වැට් බදු ගහන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මෝල් හිමියන්ට පොලී රහිත ණය දුන්නට වැඩක් වුණේ නෑ

මීට අමතරව අලි මිනිස් ගැටුම නිසා මිනිසාගේ ජිවිත දේපල සේම අලි ඇතුන්ගේ ද ජීවිත නැති වන බවත් මේ ගැටලු මැද ගොවිතැන් කර අස්වනු නෙලා අලෙවි කරන්න යන විට ගොවි පුතාගේ රජය ගොවියාට හිතාමතාම පාඩු කරන බවත් ගබඩා අරිනවා කිව්වත් මුළු වී අස්වැන්නෙන් 3% - 5% අතර ප්‍රමාණයක් මිලදී ගන්නා බවත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට රු. 120ට වී ගන්න කියා පොලි රහිත ණය දුන්නත් ඒවාද හරියට ක්‍රියාත්මක නොවූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එදා හාල් ආනයනය කරන්නේ කොමිස් ගහන්න නම් අද හාල් ආනයනය කරන්නේ මොනවා ගන්නද..?

ඡන්දයට පෙර කුඹුරට බැස ගොයම් කකා රු. 150ක් වී කිලෝවට දෙනවා කියූ රජයේ මැති ඇමතිවරු සහල් ආනයනය ගැන කිව්වේ සහල් ආනයනය කරන්නේ කොමිස් ගහන්න සහ ගොවියා විනාශ කරන්න යැයි වුවත් අද මේ රජය නැවත වරක් විශාල වශයෙන් සහල් ආනයනය කරන බවත් මේ රජය බලයට පැමිණි පසු අවස්ථා 2කදී හාල් පිටරටින් ගෙන්වා ඇති බවත් මෙට්‍රික් ටොන් 340000ක් ගෙන්වා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රට ජාතික කෘෂිකාර්මික සැලසුමක් අවශ්‍යයි

අප රටේ ගොවිතැන දෙස බලන විට පිටරටින් හාල් ගෙන්වීම අවශ්‍ය නොවන බවත් වාර්ෂිකව දළ වශයෙන් සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 3,400,000ක් වුවත් ඉල්ලුම මෙට්‍රික් ටොන් ලක්ෂ 25ක් බවත් වැඩිපුර මෙට්‍රික් ටොන් ලක්ෂ 9ක සහල් අතිරික්තයක් ඇති බවත් මේ අතරින් මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් අතුරු නිෂ්පාදන සත්ත්ව ආහාරවලට ඉවත් කළ පසු තවත් මෙට්‍රික් ටොන් ලක්ෂ 5ක අතිරික්තයක් ඇති බවත් මෙහි ඇති ගැටලුව වන්නේ රටට පැහැදිලි කෘෂිකර්ම සැලසුමක් නොමැති වීම නිසා බවත් සහල්වලින් 76%ක් රතු හා සුදු නාඩු සේම 12%ක් සම්බා සහ 12%ක් කීරි සම්බා ඉල්ලුමක් ඇති බවත් ජාතික කෘෂිකර්ම සැලසුම තුළ වගා කටයුතු කළ යුත්තේ ඉල්ලුම් රටාව අනුව බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඇයි මහා භාණ්ඩාගාරයේ ඇති මුදල්වලින් ගොවියාට සහන දෙන්න බැරි..?

අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලැබෙන තෙක් ශක්තිමත් වගා රක්ෂණ දේපල රක්ෂණ හා ජීවිත රක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් ඊට අමතරව නව තාක්ෂණය උපයෝගී කර ගත යුතු බවත් මහා භාණ්ඩාගාරයේ ටොන් ගණන් මුදල් ඉතිරි කර ඇතිනම් මේ මුදලින් ගොවි ජනතාවට හොඳ ස්ථාවර මිලක් ලබා දී, ගොවි විශ්‍රාම වැටුප් ලබා දීම වගා රක්ෂණ ලබා දිම කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
රජය රු. 120ට වී මිල තීන්දු කරලා ගොවි ජනතාව දුප්පත් කළා | Lanka Newsweek